Pages

විලම්බීත 12.01.2018

1)බිත්තර
මනුෂ්‍යයා වර්ගයා බෝ කරන්නෙ වැරදි ආකාරයට ය. නිවැරදි ක්‍රමයට දරුවන් බිහි කරානම් අද සම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ස්ත්‍රීවාදීහු නොවෙත්! සැමට සම අයිතිවාසිකම් ඉස්පාසුවේම ලැබෙනු ඇත.
මනුෂ්‍ය පැටවුන් ද බිහිවන්නට තිබුණේ බිත්තරවලිනි. එසේ වූවානම් මුලින්ම එන්නේ ප්‍රසූත නිවාඩු ය. එහෙත් ඒ සඳහා මාස ගණන් ඇවැසි නොවේ. බිත්තරයක් දැම්මාට ලොකූ වේදනාවක් ඇති නොවනු ඇත. එහි ඇති සුමට මතුපිට නිසා යෝනි මාර්ගය ඉරාගෙන, මසාගෙන වද විඳින්නට උවමනා නැත. මේ නිසා සතියක පමණ ලෙඩ නිවාඩු සමඟ ප්‍රසූත නිවාඩුවක් සැහෙන්නේය.
ඉන්පසු එන්නේ බිත්තර රකින කාලය ය. මේ සඳහා බිත්තරේ අම්මාට මාස 4 හමාරක නිවාඩු ද, බිත්තරේ තාත්තාට මාස 4 හමාරක නිවාඩු ද ලැබෙනු ඇත. මෙය දෙදෙනාගෙ අභිමතය පරිදි දවසක් හැර දවසක් හෝ එක දිගට මාස ගණන ලෙස හෝ කස්ටමයිස් කරගත හැක. අප කුඩා කල රූපවාහිනියෙ හවසට ගිය පෙන්ගුවීන් කාටූනයෙ මෙන් අම්මාට බිත්තර රකින ගමන් තොප්පි ගොතන්නට පුළුවන. තාත්තාට කණ්නාඩි දමාගෙන පත්තර කියවන්නට පුළුවන. එසේත් නැතිනම්, වර්කොහොලික් අම්මලාට කුඩා කූඩයක සිනිඳු ඇතිරිල්ලක් මත බිත්තරය තබාගෙන වැඩට ගොස් එහිදී බිත්තර රකින ගමන් වැඩ කරන්නට ද පුළුවන. නිවසේ තවත් වැඩිහිටියන් හෝ ඕ ලෙවල් ඒ ලෙවල් ලියා ප්‍රතිපල එනතෙක් ගෙදර ඉන්නා බිත්තරේ වැඩිමහලු සහෝදර සහෝදරියන් වෙත්නම් ඔවුන්ගේ උදව්ව ද බිත්තරය රැකීම සඳහා ගත හැකිය. මේ ගැන බොසා නොදන්නා නිසා බිත්තර රකින නිවාඩු ගෙන උන් ලවා බිත්තරේ රක්කවාගන්නා ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරන්නට ද පුළුවන.
බිත්තරේ පුපුරා බබා එලියට එන කල රෝහලට දුවන්නට නූමනා ය. ඌ නිවීහැනහිල්ලෙ ඈනුමක් හැරපියා කටුවෙන් එලියට එනවා ඇත. බිත්තරෙන් හම්බු වූ නිසා ඌට කිරි ඌමනා නැත. ඌ සාමාන්‍ය දියරමය ආහාර හෝ අම්මා, තාත්තා ගෙනැවිත් කටට ඔබනා පණුවන් ආහාරයට ගනු ඇත. ඒ නිසා රෑ තිස්සේ අම්මා පමණක් නිදි වරමින්, ලය පුරා රිදුම් දෙනතෙක් ඌට කිරි පොවන්නට ඌමනා නැත. දෙන්නා දෙමහල්ලෝ රොස්ටරයකට අවධි වෙමින් ඌ අඬන වාරයක් පාසා ශීතකරණයෙන් පණුවෙක් ගෙන ගොස් කටට දමන්නට ඇහැක. මේ අනූව මාතෲ නිවාඩු සහ පීතෲ නිවාඩු දෙදෙනාටම සම සමව ලැබෙනු ඇත.

කිරිල්ලියන් බෝඩ් උස්සාගෙන සම අයිතිවාසිකම් ඉල්ලා පෙලපාලි නොයා පෙම් ගීත ගයමින් හොඳ පවුල් ජීවිත ගෙවන්නෙ මේ නිසාය.
2) ප්‍රභාසංස්ලේෂණය
මනුෂ්‍යයාට කටක් සහ අනෙකක් තිබෙන්නෙ අපරාදේ ය. මිනිසුන් ජීවිතෙ වැඩි වෙලාවක් ගත කරන්නෙ කන්නට හා වැසිකිලි යාමට ය. වැඩිපුර වියදම් වන්නේ ද කෑමට ය. නිවෙස්වල වැඩිපුර රණ්ඩු ඇතිවන්නෙ වැසිකිලි පෝලිමට සහ එය පිරිසිදු කිරීමෙ ගැටළු සම්බන්ධව ය.
මිනිසා ද ප්‍රභාසංස්ලේෂණය කලේනම් දෙයියනෙ කියා මේ දෙකම නූමනා ය. ඒ මුදලින් ද ඇඳුම් ගන්නට පුළුවන. කෙලියා ය! ප්‍රභාසංස්ලේෂණය කරනවානම් ඇඳුම් ඇඳලා බැරිය.. ඇඳුම් අඳිනවානම්, සෑම සියළු දෙනාම දහවල් විවේක කාලයේදි ඇඳුම් උස්සාගෙන අව්ව තැපිය යුතුය. ගමනක් යන අතරතුර චූ දමනවාට අමතරව ප්‍රභාසංස්ලේෂණය සඳහා ද වාහන අයින් කොට නවත්වා පාර අයිනෙ අව්ව තැපිය යුතුය. මොකක් වුවද ඇඟ ස්ලිම් තබාගන්නට කැමති ගැහැණු, පිරිමි ලමෝ සළු බොලැට දක්වා අඳිනු ඇතැ!
3) ඉව
මෙයනම් දැනටත් අපේ අම්මලා සහ වයිෆ් යන මනුෂ්‍ය වර්ග කොට්ටාසයට යම්තාක් දුරට පිහිටා තිබෙනවා ය. නමුත් මා මේ කියන්නෙ බව්වන්, පූසන්ට පිහිටන අන්දමෙ ඉවක් ගැනය.
එසේ ඉවක් තිබූ කල සෙම, කෙල, දාඩිය ආදි සියල්ලක් ගැන ඉව දැනෙනවා ය. එවිට මේ සකල ලෝකවාසීන්ගෙ දරු දැරියන්, සිරිමත් ලපටි සමාගමේම ආවාහ විවාහ වනතෙක් සිටිනු ඇත, නොව සිටින්නට සිදුවනු ඇත. සඳ එලිය සේ අචින්ත ප්‍රේම පුරාවෘන්තාන්තවලින් කන් කරච්චල් වනු ඇත.
එවිට එම මනුෂ්‍යයෝ පර අඹු, සැමි සබදතා යනු මොනවාදවත්දැයි නොදන්නාහ. සැබෑ ආදරය යනු කිසිඳු වටිනාකමක් නැති ටවුන් කාක්කො තරමට සුලබ වනු ඇත.
නමුත් වෙද, හෙද ආදි නිතර දෙවේලෙ සෙම් සොටු, කෙල, දාඩිය සමඟ පොර බඳින වෘත්තිකයෝ අම්මලාගෙ, කලත්‍රයාගෙ සැකයට නිතොර බඳුන් වන්නාහ. විශේෂයෙන් නිර්වින්දන වෛද්‍යවේදය අනිවාර්‍යෙන් අවිවාහක, පෘතග්ජන ආසාවලින් තොර යැයි ඒකාන්තයෙන් සමාජගතව ඇති වෛද්‍යවරුන් විසින් කල යුතු වන්නේ ය.
4) වලිගය
මා කුඩා කල පටන් කල්පනා කල විලම්බීතයකි, මනුෂ්‍ය වලිගය. මනුෂ්‍යයාටත් වලිගයක් තිබුණානම් මරු ය. එය තාලයකට වන වනා ගමන් යන්නට හැකිය. බොසා, ඇමති ඉදිරියේ වැඩිපුර වැනිය හැකිය. කෙල්ලන්ට ලයින් දමන කොල්ලන්ට තම වලිගයෙ මවිල් මොණර පිලක් මෙන් පුම්බා ලතාවට වැනිය හැකිය.
පිරිමි ලමෝ 'ඔය වලිගෙ ඔබේ මනලෝලයි, තේරුනේහ්... දැන් තමයි' කියා ගී ගයනු ඇත. 'නන්කි බබා, මම දැකපු ලස්සනම වලිගෙ තීන්නෙ ඔයාට රන්කද' කියනු ඇත. ගැහැණු ලමෝ 'ඔබ හින්දා බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා - ඉන මාගෙ කරකවා ඔබ ලඟට ගත්තෙ මා- හිත දෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කලා// - ඔයා මොකද කරකාල මගෙ ඉන වටා ගියේ? වශී වෙන්න මොනවාද මගෙන් ඔය තරම් උනේ? වශී උනෙ නගුටටනෙ ඔබෙ- ඒ බැන්ද සෙනේ සංසාරෙ ප්‍රියේ'යි ගයනු ඇත.
ගැහැණු ලමෝ වලිගවලට ද අරුමෝසම් පීත්ත පටි, ඇගැලුම් දමනවා ඇත. පිරිමි ලමෝ එහි ටැටෝ දමනවා ඇත, ජිම් ගොස් වලිගයෙන් ඩම්බෙල් ඔසවනවා ඇත. ගමේ ඇන්ටිල, නෑදෑයන් 'හයියෝහ් අර විමලාගෙ එකීගෙ වලිගෙ අපෙ එකීගෙ වලිගෙ ගාවින්වත් තියන්න හැක් ද? ඒත් බලහල්ලකො අල්ලං තියන කොලුවගෙ දිස්නෙ.. අනෙ අප්පේහ්, ඒ වගෙ වලිගයක් තියෙන කොලුවෙක් මේකිට කැමති උනා නේහ්'යි කම්මුලෙ අත ගසා ගනු ඇත.
ඕ ලෙවල්, ඒ ලෙවල් හෝල් ක්ලාස්වල පස්ස පැත්තෙ භාගයක්වත් දරාගන්නට පලල නැති, කිටි කිටියෙ පෙල ගැස්වූ බංකු මත ඉන්නා විට පිටුපස පෝලිමෙ කොල්ලන්ගෙ කකුලෙ වලිගය වදිනු ඇත. නිදි කිර කිරා ඉන්නා විට පිටුපස පේලියෙ නිදි කිරනා එකෙකුගෙ කකුලට තම වලිගය පෑගීම නිසා එලෝ පොල් පෙනී කෑ ගාමින් අවධි වනු ඇත. 'කවුද යකූ මගෙ කෙල්ලගෙ වලිගෙ පාගපු පරයා'යි කියමින් කොල්ලන් කොල්ලන් වලි දමා ගනු ඇත. නමුත් බස්වල ජැක් ගසන්නට එන අයියල, අන්කල්ලාට මේ පොඩි කෙල්ලෝ වුව ද මඩු වලිග මෙන් සවියැති තම වලිගවලින් හොඳට මතක හිටින තෙක් නෙලනු ඇත. තම වලිගය උගෙ බෙල්ල වටා ඔතා, බෙල්ල අංශක 180කින් කරකවා මදන විසය ද, ඌව ද එතැනම මට්ටු කරනු ඇත.
මනුෂ්‍යයන්ට වල්ගා තිබුනහොත් වෛද්‍ය විද්‍යාවේ ද වලිගය පිලිබඳ විශේඥ වෛද්‍යවරුන් සිටිනවා ය. ඔවුන් විසින් වලිගයෙ ඇතිවන රෝගවලට ප්‍රතිකාර, වලිගය දිගු කරගැනීමෙ ශල්‍යකර්ම, වලිගය ඉද්ද ගැසුවා සේ කෙලින් සිටීම සඳහා පෙති ආදිය නියම කරනවා ඇත.

දැනට මතක් වන විලම්බීත එපමණයි.. අසා සිටියාට ඉස්දූදී!
-ප්‍රාර්ථනා ඇම්. ඇල්.
#සව්බොර

No comments:

Post a Comment

Popular Posts